Monday, March 23, 2015

ප්‍රේමයේ නිරුවත

බුදු කුටිය මල් වලින් පිරී තිබිණි. යන්තමින් පර මල් කීපයක් ද ඒ අතරින් පතර මම දුටිමි. නෙක නෙක  පාටැති විසිතුරු මල් එහේ මෙහේ කල මම තවත් පර මල් ඇති දැයි සෙවීමට මොහොතක් ගත විණී. කුණු වී සෙවල වෑස්සෙන මල් ද  පර වී කේඩෑරි වී ගිය මල් පෙති ද, සුවඳ පිවිතුරු මල් වල යට වී හැංගී තිබිණි. සැදැහැ සිත කෙතරම් ද යත් කුණු සෙවල වෑස්සෙන මල් කැබලිති දෑතින්ම ගෙන බුදු කුටිය පිරිසිදු කළ මම, දෝවනයෙන් මුදිත සුදු මල් වට්ටිය බුදුන්ට ම බාර දුනිමි. තවත් හෝරා කීපයකින් කේඩෑරී වී පර වෙන මේ මල් වට්ටිය කවරෙකු හෝ විසින් විසි කරනු ඇත හෙට උදැහැනැක්කෙම. ජීවිතය ද මීට දෙවැනි නැත. දිනෙක පර වී හප වූ පසු යමෙකු හෝ යම් පිරිසක් විසින් අපව කනත්තට විසි කරනනු ඇති වඟ ලොකු හාමුදුරුවන් දිනක් වදාල බණ කතාව සිහිපත් කරමින්ම මම පන්සල් ගේට්ටුවෙන් එලි බැස්සෙමි.

හැන්දෑ අදුර කුඹුරු ඉපනැලි අතරින් රිංගන ජාමයේ සීතල සුළඟ  අරුම කතාවක් කන ලගමට විත් කියන්නට තතනයි. කවදත් මේ බිං කරුවලට හිත නලියන බිය හේතුවෙන්ම මම අඩියට දෙකට ගෙදරට හැරෙන පාරට  කිට්ටු වීමි.

මාර්ගය ඉදිරියෙන් ඇඳුන රුව දුටු වනම මම ඇයව හැඳින්නෙමි. ඈද එසේමයි. හුරු පුරුදු සිනහව  තාවම ඈගේ වත පුරා අරක් ගෙන ඇත. වෙනසකට ඇති එකම දෙය ඈ දැන් මවකි.එසේම වැන්දඹුවකි. පුංචි පැටික්කියක් ඇගේ වම්’තේ ලැඟ ගෙන සිටී. සියවස් ගණනාවක පෞරාණික ප්‍රේමයෙන් ඈ ලද එකම ත්‍යාගය ඒ බව මම හොදා කාරව දනිම්.

“කොහෙද මේ අම්මලා දූලා යන්නේ හැන්දෑවේ?”

“අපි පන්සල් යනවා සඳු.. ”

“මමත් මේ පන්සල් ගිහින් එන ගමන්..සුමුදු අක්කා තව ඩිංගක් කලින් ආව නං අපිට එකටම යන්න තිව්නා.”
 පුංචි මුවැත්තියට අපේ කතා ගැන හා හූවක් නෑ. ඉවරාවක් නැති කෙල වැලක් වක්කර ගෙන කඩි කුලප්පුව හැදුන කලක මෙන් දඟලයි. මම ඈව වඩා ගතිමි. මෙතුවක් කට කොනක තැන්පත්ව තිබූ ඇගේ අතින් කෙල වරුසාවක් මගේ මූණ පුරා අතුල්ලයි. කණට ඇහෙන කුණු හරපයක් උවත් බරසාරව කියන්නට තටමන වයසක සිටි සිඟිත්තිය තම මව අනුකරණය කරමින් “ ත..ඳු .. තඳූ..” යි කීය. ඈට “සඳූ ” යි මගේ නම කියන්නට දිව පැටලෙයි. ඇගේ “ස” අකුර සඳහා වූ ආදේශකය “ත” . විය.

මිතුරු හමුව නිමා වත් මම නැවත ගෙදර යන මඟ ඉක්මන් කලෙමි. වෙල් එළිය මැදින් වූ මාර්ගය එපිට ගස් මුදුන් අතරින් ඉර ගිනි ගනිමින් පල්ලන් බසී.. මම නැවතත් පසු පස හැරී සිඟිත්තිය හා ඇගේ මව යන දෙස බැලීමි. හයක් හතරක් නොදන්න ඒ සිඟිත්තියගේ ආදරණීය මවට ගම්මුන් තියන අවලාද කෙතරම් අසාධාරණ ද?

පුංචි සංදියේ පාසලේ දි හොටු පෙරාගෙන අඬපු මාව නලවාපු අක්කන්ඩිය අැය යි. පස්සෙන් පහු ඈ මගේ ආදරණීය සොයුරිය යි. දහම් පාසලේ අපි පුංචි පැංචන්ට උගන්වපු කාලේ ඇරඹුනු ඇගේ හුට පට ආලයේ අවසන ලියවුනේ ඔහුත් සමඟ පැදුරටත් නොකියා ඇගේ නික්මීමයි. ජීවිතේ අකාරුණික ධෛවය ඇගේ ප්‍රේමය ඩැහැගෙන ඔහු වල පල්ලටත් කාලයේ ඇවෑමෙන් පුංචි සිගිත්තියක් වැට පැණීමත් මුල මැද අඟ නොපෑහෙන කතාන්දරයක් වීය. ගම්මුන් ඒ සිගිත්තිය අවජාතක යැයි කීය. නොසරුප් බස් අනේක වාරයක් ඒ ගැහැණියගේ මුහුණුට තවමත් විසිවෙනවා ඇත. නමුත් පුදුමයකට මෙන් රතියෙන් දිලිසෙන වෙසඟනකගේ දෑස් මම කෙදිනකවත් ඇගෙන් දැක නැත. ස්නේහයේ චායාව ඒ වෙනුවට එදා මෙදා තුර මම ඈගේ දෑසෙන් විනිද දැක්කෙමි.

මේ  ලිපිය ලියන තප්පරයේදී පවා මට ඇගේ අත්භූත කතාන්දරයේ කොනක් අමතකව නොගොස්ව පවතී. දරුවන්ගේ ආරස්සාවට දෙමාපියෝ ගෙල බඳින පංචායුධය වෙනුවට මේ සිගිත්තියගේ ගෙලේ බැඳ ඇත්තේ පුංචි රන් පෙත්තකි. එහි පංච ආයුධ වෙනුවට ඉංග්‍රීසි අකුරින් Nසහ S යන අකුරු දෙක සඳහන් කොට තිබිණි. මම ඒ දෙස විශ්මයෙන් බැලූ අවස්ථාවේ ඇගෙන් පිට වුණු වචන තවමත් මගේ දෙසවන් වල දෝන්කාර දෙමින් පවති.

NS කියලා තියෙන්නේ නුවන්, සුමුදු කියන එක.මට නුවන් නැති අඩුව පුදුමෙට දැනෙනවා සඳූ.”


අවජාතක නං මේ පැංචිගේ කරේ ඔහොම එකක් එල්ලුවේ මොන මගුලකට ද? මගේ හිත කකියන වේදනාවක් ඈ කෙරේ ඇඳ බැඳගෙන උපන්නා ඒ මොහොතේ. “ලෝකයම පද පලිච්චි කලත් ඈ පමණක් දන්න ඇත්ත කතාවක් මේ පැංචිට උරුම ඇතුවා නොවේ දැ”යි මා මගෙන්ම විමසුවෙමි.  

No comments: