Wednesday, April 29, 2015

එක් ටැම් විමානේ


මම ම හදා ගත් එක් ටැම් ගෙයි 
දොරගුළු අස්සෙන් රිංගා..
පිටමං මිනිහෙක් ගෙට වද්දාගෙන 
අරුමැති දුක් ගින්දර වින්දා.
මම ම විවර කළ 
එක්ටැම් දොරකඩ පින්නා..
දේව දූතයෙක් බහිරවයෙක් වී 
මගෙ හිත ආයෙත් වික්කා..

Wednesday, April 15, 2015

මළවුන්ගේ අවුරුදු දා ..

ආදරණීය දෙවුන්දරා සං,


දිය කරගෙන
සීතල හිම..
ගිනියම් වෙන
පෙම් හඳවත..
තුරුළු කරන්..
නුඹ එනකන්..
මඟ බලාන
මම ඉන්නං..
මළ වුන්ගේ අවුරුදු දා..

****
-නොරිකෝ සං-

Monday, April 6, 2015

මල් වැස්ස..!!!



මල් වැස්ස..!!!
හුළඟ එක්ක 
හෙමින් ඇවිත්
තෙමපං 
මගේ පෙම් හඳවත..
රෝස පාට තොල් පෙති උඩ
හෝදාපං 
කළ පව් කඳ..

හිතුවක්කාර ආදරේ

ආදරේ පුදුම හිතුවක්කාරයි. හේතුව, අපි ආදරේ හොයන දවස් වලට  අපි මොන තරන් පරිස්සමින් බලා කියා ගත්තත් ආදරේ පස්සා දොරෙන් වැට පයිනවා. වතාවක් දෙවතාවක් ඔය කලඹගෑනිය අපි කාගෙත් හඳවත් ඇතුලේ දඟලන්න ඇති වේදනා දිදී. ඔය සේරම අවසානේ තඹ දොයිතුවකට ආදරේ මායින් නොකරන කාලයකුත් එනවා. එදාට මල් වට්ටියක තියලා ආදරණීය මනුස්සයෙක් හදවතක් ගෙනත් දුන්නත් මහ ලොකු හැඟීමක් ඇති වෙන්නේ නෑ. මොක ද,  පරණ ආදර කතා වලින් තුවාල වුණු තනිකඩ ආදරවන්තියන්/ වන්තයින්ගේ සමහර හිත් වල මේ වෙද්දි පැසවල හැරව ගලන තුවාල ඇති වෙලා තියන හන්දා.. මම කතා කරන්නේ මල් හොයන සමනල්ලු ගැන නෙවේ. පිච්චෙනව කියලා දැන දැන ලාම්පු දැල්ලට පෙම් බඳින පළගැටි හිතැත්තන් ගැන. 

Mario Vargas Llosa විසින් ලියැවුණ The Bad Girl නමැති කෘතියෙහි කතා නායකයා (රිකාදිතෝ)  චිලියානු කෙල්ලෙක්ට මුළු ජීවිත කාලෙම පිස්සු වැටෙනවා ආදරෙන්. වේලාවකට ඒ ආදරේ ද කියලා හිතා ගන්නත් බැරි තරන්. සැබෑ ලෝකේ මම එහෙම ආදරයක් කිසිම පිරිමියෙක් ලඟ දැකලා නෑ. අඩුම තරමේ අහලා වත් නෑ. ඇය ලෝකේ වටේම ඉන්න බල්ලොත් එක්ක දඩාවතේ ගිහින්, ජීවිතේ අස් කොන් වලදි ලැබෙන පුංචි විරාම වලදි රිකාදිතෝ හොයාගන එනවා. ඒ හැම අවස්ථාවකම ඔහු ඈව භාර ගන්නවා. පිටමං කරන්න ආදරේ හංඟ ගන වුන්නත් වතුර යට හිර කරලා තියන බැළුමක් වගේ අත බැරි වෙන තප්පරෙන් මතු පිටට පනිනවා.  ඔහු ඇයට ආදරෙයි. නමුත් ඈ මැරෙන තුරාවට ඇගේ කටින් “මම ඔයාට ආදරෙයි“ කියන වචන ටික පිට කරන්නේ නෑ. අඩුම තරමේ හඳ පිස්සු වැටෙන මැදියම් රැයේ ඔවුන් තුරුළුව සිටීදි වත්.අවසානේ ඈ පිළිකා රෝගයකින් මියැදෙනවා. සල්ලි පස්සෙන් පිස්සු වැටුනු ගෑණියෙක් වෙලා එක එක පිරිමින්ගේ නලඟන විච්චි ඈ අන්තිම හුස්ම හෙලන්න තෝර ගන්නේ තමන්ට අමිල ආදරයක් පිරි නමපු  රිකාදිතෝ ව. 

ආදර කතා වල එන යන උදවියයි, සඳහටම නවතින උදවියයි, යන්නම යන උදවියයි කියලා කොට්ඨාශ තුනක් ඉන්නවා. රිකාදිතෝ සඳහටම එකම තැනක නතර වෙලා වුන්නා.. හරියට ජෝතිපාල මහත්තයා ගායනා කරපු “දුරකථනයකින් මම ඔබ අමතමි“ ගීතය වගේ. 

ඔබමයි ආවේ..
ඔබමයි යන්නේ..
මා එතනම එහෙමයි.. 

ජීවිතේ අරුමැති කතාවක්.  ඒ අරුමැති කතාවට ඉර පායන්නේ අර හිතුවක්කාර ආදරේ දේදුණු වර්ණ වලින් මොකක් හරි පාටක් අපේ ජීවිතේ තැවරුණොත් විතරයි. ඒත් පුදුමෙට, ආදරේ දේදුණු පායන්නේ කදුළු වැස්සක පෙර නිමිත්තක් විදියට.


Sunday, April 5, 2015

සුවඳෑති මල්




ගහකට 
බැරුවට 
ඉඹින්න
සුවඳැති 
මල් පිපෙනවා 
ඒ 
ගස් වල..

Wednesday, April 1, 2015

සමනලී..



විතෙන් මී මුධු 
මත්ව රඟදෙන..
මලින් මල රහ
හෙමින් සිපගෙන..
හොරෙන් හොරුහින්
මුකුළු කරගෙන..
එකින් එකකට.
වන්දනාවක යන.. 
සමනලිය මම..