Ads
Thursday, March 5, 2015
සංසාර වන්දනාව
ඊයේ (2015.03.05) මැදින් පුර පසලොස්වක. කාලෙකට ඉස්සර පෝය දාට උදෙන්ම ලමා සාරියට උඩින් උතුරු සළුවත් දාගෙන අත්තම්මා පස්සෙන් පන්සල් ගියා සිල් ගන්න. මම ඇගේ අත් වාරුවෙන් ගියපු කාලෙකුත් ඈ මගේ අත් වාරුවෙන් ගියපු කාලෙකුත් තිබුණා . ඒ යුගයන් දෙකම දැන් පහු වෙලා මේ අලුත් පරිච්ජේදයක්.
මෑත කාලෙක පටන් පුලු පුලුවන් විදියට පෝය දාට අපි කැළණි පන්සල් ගියා. ආත්ම ගානක කරපු පව් ටික හෝද ගන්න. ලබන ආත්මෙදි දිව්‍යලෝකේ ඉපදුනේ නැති වුනත් අපායට නොවැටුනොත් හොඳ හංදා.
පන්සලේ ඉස්සරහා පාරේ දිගටම මල් විකුණන මිනිස්සු. මේ උදවියට පෝට දාට පන්සලත් හොඳ වෙලඳපොළක්. මම ඒ පැත්තවත් නොබලා අම්මාගේ වෙව්ලන දෙපා වලට ඇවිදින්න වාරු දුන්නා. නංගී කොහොම හරි අප්පච්චිගේ ඇගේ එල්ලිලා නෙළුම් මල් පහක් අරගෙන. ගෙදරින් ගෙනාව සුදු මල් කවරෙයි, පොල් තෙල් , පහන් තිර ඔක්කොම අප්පච්චිගේ අතට දීලා ඇගේ නෙළුම් මල් ටික අරගෙන සෙනඟ අස්සෙන් රිංගගෙන පිය ගැට පෙල නැංගා.
සෙනඟ අස්සෙන් රිංගගෙන පෙනෙන නොපෙනෙන ගානට යන නංගී දිහා බලලා අම්මා ලොකු හුස්මක් ඉහළ ට ඇද්දා, ඇගේ ඉස්සරහා එවරස්ට් කන්ද වගේ තියෙන පිය ගැට පෙළ නගින්න. ඒත් මම දන්නවා, ඇඟෙන් බාගෙක බරක් වත් උස්ස ගන්න ඇගේ දිරච්ච ඇට කටු වලට හයි ය නෑ කියලා. මීට වඩා දුෂ්කර කදු පල්ලං වල ඈ අපිව වත්තං කරගෙන ඇවිදින්න ඇති බොහොම ඉස්සර දවසක. යුකයක අවසන ඈ ලදරුවක් වී මා වැඩිහිටියකු කර ඇති වඟක් කාලය මට යන්තමින් තේරුන් කර මින් හිටියා
අම්මාගේ ඇස් වල මහ වරුසාවක් වස්සන්න කඳුළු පිරිලා තියෙන වා මම දැක්කට නොදැක්ක ගානට , ඇගේ ඉණ වටා අත දාලා අල්ල ගත්ත, 'කවදා වත් වැටෙන්න දෙන්නේ නෑ ඔයාට' කියලා වචන වලින් නොකිය ඈ ට ම තේරුං ගන්න දීලා. මල්ලී අනික් පැත්තෙන් අම්මාගේ ඉණ වටේ අත දාලා අල්ල ගත්තා. දැන් ඉතිං එවරස්ට් නෙවේ ඊට වඩා කන්දකුත් නැග්ගැකි. ඈ පුදුම විශ්වාසෙකින් පිට ගැට පෙලේ පළවෙනි පඩියට පය තිබ්බා.
සෑහෙන වෙලා වකට පස්සේ ඉහළම පඩියට නැඟලා අම්මා ආයෙමත් හැරිලා පහළ ම පඩිය දිහා බැලුවා. බාගදා ඈ හිතන්න ඇති , නැග්ග මෝඩ කම කියලා.. ආපහු බහින්නත් ඕනෙනෙ නැග්ගා වගේ ම. මම ඇගේ සිතුවිලි වලට මගේ සන්තාන සමපාතනය කලා බොහොම වැරදී.
'ඔය දෙන්න නොයින්න අද මට මේ පඩි නගින්න වෙන්නේ නෑ'
මගේ පපුව ඇතුලේ පුපුරු ගහන ගින්දරක් ඇවිලිලා ඇස් වලින් නලියන දුන් පිට වුණා ඒ වචන වලට.
අම්මා අසනීප උනායින් පස්සේ අපි කැළණි ආව පළවෙනි වතාව මේ.
වයසටත් වැඩියෙන් ජීවිතේ එක්ක හැප්පුනු අප්පච්චිට තනිවම අම්මාව වත්තං කරගෙන මේ පඩි නගින්න බෑ . හැබෑව.. අද අපි නොයින්න ඇගේ කැළණි වෙහෙර වැදිල්ල අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක්.
Labels:
ජීවිත කතන්දර
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment