Tuesday, March 31, 2015

කසාද සහතිකය


දුහුල් පට සළු
උඩින් ඇඳගෙන
පෝරු මණ්ඩප තිබ්බේ නෑ..
තීරු පොතකට
කියා හිමිකම
අත්සනක්වත් දැම්මේ නෑ..
අපි අපේ වුණු
සුමුදු යහනෙදි
ලෝකයක් ගැන වඟක් නෑ..
මට අහිමි වුනු
ඈට හිමි වුනු
සහතිකේ මට අදත් නෑ..

වැරහැලි හිත



ඉපනැල්ලත් කිති කවාන
මල් වැස්සක් ඇවිත් ගිහින්
චිරි චිරියේ වස්සානය 
පොළොව තෙමන සුවඳ සරින්
කොහෝ ඇවිත් ගී කියපන්
වැරහැලි මගේ හිතට උඩින්..

තිත් කොමා



නුඹ නැවතීම තියන්න  
හිතපු හැමදාම 
මම කොමා දැන්මා..
මම නැවතීම  තියන්න  
හිතපු හැමදාම 
නුඹ විශ්මාර්ථයක් දැන්මා..
අවසානයක් තියා 
ආරම්භයක් වත් නොවුනු 
කතාවක 
දැන් ඉතිරි ප්‍රශ්නාර්ථ විතරමයි...

Thursday, March 26, 2015

වැස්ස වගේ මල්

තුරු වදුල් සිප වැලඳ
මල් පහස විඳ ගත්තු
පොඳ වැස්ස
මම නේද...

පසන් සිතුවිලි
දහක් අතරින්
වඟක් වත් නැති
පතොක් මල 
නුඹ නේද


Monday, March 23, 2015

ප්‍රේමයේ නිරුවත

බුදු කුටිය මල් වලින් පිරී තිබිණි. යන්තමින් පර මල් කීපයක් ද ඒ අතරින් පතර මම දුටිමි. නෙක නෙක  පාටැති විසිතුරු මල් එහේ මෙහේ කල මම තවත් පර මල් ඇති දැයි සෙවීමට මොහොතක් ගත විණී. කුණු වී සෙවල වෑස්සෙන මල් ද  පර වී කේඩෑරි වී ගිය මල් පෙති ද, සුවඳ පිවිතුරු මල් වල යට වී හැංගී තිබිණි. සැදැහැ සිත කෙතරම් ද යත් කුණු සෙවල වෑස්සෙන මල් කැබලිති දෑතින්ම ගෙන බුදු කුටිය පිරිසිදු කළ මම, දෝවනයෙන් මුදිත සුදු මල් වට්ටිය බුදුන්ට ම බාර දුනිමි. තවත් හෝරා කීපයකින් කේඩෑරී වී පර වෙන මේ මල් වට්ටිය කවරෙකු හෝ විසින් විසි කරනු ඇත හෙට උදැහැනැක්කෙම. ජීවිතය ද මීට දෙවැනි නැත. දිනෙක පර වී හප වූ පසු යමෙකු හෝ යම් පිරිසක් විසින් අපව කනත්තට විසි කරනනු ඇති වඟ ලොකු හාමුදුරුවන් දිනක් වදාල බණ කතාව සිහිපත් කරමින්ම මම පන්සල් ගේට්ටුවෙන් එලි බැස්සෙමි.

හැන්දෑ අදුර කුඹුරු ඉපනැලි අතරින් රිංගන ජාමයේ සීතල සුළඟ  අරුම කතාවක් කන ලගමට විත් කියන්නට තතනයි. කවදත් මේ බිං කරුවලට හිත නලියන බිය හේතුවෙන්ම මම අඩියට දෙකට ගෙදරට හැරෙන පාරට  කිට්ටු වීමි.

මාර්ගය ඉදිරියෙන් ඇඳුන රුව දුටු වනම මම ඇයව හැඳින්නෙමි. ඈද එසේමයි. හුරු පුරුදු සිනහව  තාවම ඈගේ වත පුරා අරක් ගෙන ඇත. වෙනසකට ඇති එකම දෙය ඈ දැන් මවකි.එසේම වැන්දඹුවකි. පුංචි පැටික්කියක් ඇගේ වම්’තේ ලැඟ ගෙන සිටී. සියවස් ගණනාවක පෞරාණික ප්‍රේමයෙන් ඈ ලද එකම ත්‍යාගය ඒ බව මම හොදා කාරව දනිම්.

“කොහෙද මේ අම්මලා දූලා යන්නේ හැන්දෑවේ?”

“අපි පන්සල් යනවා සඳු.. ”

“මමත් මේ පන්සල් ගිහින් එන ගමන්..සුමුදු අක්කා තව ඩිංගක් කලින් ආව නං අපිට එකටම යන්න තිව්නා.”
 පුංචි මුවැත්තියට අපේ කතා ගැන හා හූවක් නෑ. ඉවරාවක් නැති කෙල වැලක් වක්කර ගෙන කඩි කුලප්පුව හැදුන කලක මෙන් දඟලයි. මම ඈව වඩා ගතිමි. මෙතුවක් කට කොනක තැන්පත්ව තිබූ ඇගේ අතින් කෙල වරුසාවක් මගේ මූණ පුරා අතුල්ලයි. කණට ඇහෙන කුණු හරපයක් උවත් බරසාරව කියන්නට තටමන වයසක සිටි සිඟිත්තිය තම මව අනුකරණය කරමින් “ ත..ඳු .. තඳූ..” යි කීය. ඈට “සඳූ ” යි මගේ නම කියන්නට දිව පැටලෙයි. ඇගේ “ස” අකුර සඳහා වූ ආදේශකය “ත” . විය.

මිතුරු හමුව නිමා වත් මම නැවත ගෙදර යන මඟ ඉක්මන් කලෙමි. වෙල් එළිය මැදින් වූ මාර්ගය එපිට ගස් මුදුන් අතරින් ඉර ගිනි ගනිමින් පල්ලන් බසී.. මම නැවතත් පසු පස හැරී සිඟිත්තිය හා ඇගේ මව යන දෙස බැලීමි. හයක් හතරක් නොදන්න ඒ සිඟිත්තියගේ ආදරණීය මවට ගම්මුන් තියන අවලාද කෙතරම් අසාධාරණ ද?

පුංචි සංදියේ පාසලේ දි හොටු පෙරාගෙන අඬපු මාව නලවාපු අක්කන්ඩිය අැය යි. පස්සෙන් පහු ඈ මගේ ආදරණීය සොයුරිය යි. දහම් පාසලේ අපි පුංචි පැංචන්ට උගන්වපු කාලේ ඇරඹුනු ඇගේ හුට පට ආලයේ අවසන ලියවුනේ ඔහුත් සමඟ පැදුරටත් නොකියා ඇගේ නික්මීමයි. ජීවිතේ අකාරුණික ධෛවය ඇගේ ප්‍රේමය ඩැහැගෙන ඔහු වල පල්ලටත් කාලයේ ඇවෑමෙන් පුංචි සිගිත්තියක් වැට පැණීමත් මුල මැද අඟ නොපෑහෙන කතාන්දරයක් වීය. ගම්මුන් ඒ සිගිත්තිය අවජාතක යැයි කීය. නොසරුප් බස් අනේක වාරයක් ඒ ගැහැණියගේ මුහුණුට තවමත් විසිවෙනවා ඇත. නමුත් පුදුමයකට මෙන් රතියෙන් දිලිසෙන වෙසඟනකගේ දෑස් මම කෙදිනකවත් ඇගෙන් දැක නැත. ස්නේහයේ චායාව ඒ වෙනුවට එදා මෙදා තුර මම ඈගේ දෑසෙන් විනිද දැක්කෙමි.

මේ  ලිපිය ලියන තප්පරයේදී පවා මට ඇගේ අත්භූත කතාන්දරයේ කොනක් අමතකව නොගොස්ව පවතී. දරුවන්ගේ ආරස්සාවට දෙමාපියෝ ගෙල බඳින පංචායුධය වෙනුවට මේ සිගිත්තියගේ ගෙලේ බැඳ ඇත්තේ පුංචි රන් පෙත්තකි. එහි පංච ආයුධ වෙනුවට ඉංග්‍රීසි අකුරින් Nසහ S යන අකුරු දෙක සඳහන් කොට තිබිණි. මම ඒ දෙස විශ්මයෙන් බැලූ අවස්ථාවේ ඇගෙන් පිට වුණු වචන තවමත් මගේ දෙසවන් වල දෝන්කාර දෙමින් පවති.

NS කියලා තියෙන්නේ නුවන්, සුමුදු කියන එක.මට නුවන් නැති අඩුව පුදුමෙට දැනෙනවා සඳූ.”


අවජාතක නං මේ පැංචිගේ කරේ ඔහොම එකක් එල්ලුවේ මොන මගුලකට ද? මගේ හිත කකියන වේදනාවක් ඈ කෙරේ ඇඳ බැඳගෙන උපන්නා ඒ මොහොතේ. “ලෝකයම පද පලිච්චි කලත් ඈ පමණක් දන්න ඇත්ත කතාවක් මේ පැංචිට උරුම ඇතුවා නොවේ දැ”යි මා මගෙන්ම විමසුවෙමි.  

Tuesday, March 17, 2015

කුළුදුලේ ඉදුල්

ප්‍රේමය උතුම් දහමකි
මිනිසුනි අප පිළිගන්නා..
රාගය ඊට පහළ දි
විනිවිද යන්නා..
මේ දෙක එකම තැනකදි
එකි නෙක හමු වෙන්නා..
ඉදුල් කුළුදුල් 
මනිනු කෙලෙසක 
සාඨකය ක රන්දා..

සීතල මල් වැස්ස

සෙංකඩගල මහ පොලොවට
හෙමින් හෙමින් වැටෙන වැස්ස
තෙමා වැලද ආදරයෙන්
සිංදු කිව්ව මතකයි, 
මට..

සඳත් එක්ක නුඹ ඇවිදින්
මහ කරුවල අහස් ගැඹට
ඉරා දාපු ලෙන් ගතු කම
දොරේ ගියා පිදූ පෙමට..

නුඹ නාවට හිතත් එක්ක
සීතල මල් වැස්ස ඇවිත්
බිම තෙමනවා 
මෙහෙ ඕසෙට..


Monday, March 16, 2015

මතකයෙන් එහා

කතන්දර වලින් පටන් ගෙන සුරන්ගනා ලෝක වටේ ඇවිදලා හති වැටුනම හෙණ ගහන්නා වගේ මහ පොළව උඩට කඩාගෙන වැටුනා. මේච්චර කාලයක් අපි කලේ කාලේ නාස්ති කර කර හිටපු එක විතරයි කියලා මට දැනෙද්දී ජීවිතේ හොඳම හරියෙන් පිටු පහ හයක් ගැලවිලා ගිහින් උඩු හුලගේ.


අසීමාන්තිකම බැඳ ගෙන උන්නු රෝමාන්තික හැන්දෑවල් ජීවිතේ අනන්තවත් තියෙන්න ඇති. එහෙව් මතකයන් උඩ කට බලියගන අනිත් උන් පෙම් කරන හැටි දැන් අපි දෙන්නම බොහොම ඈත  රටවල් ගානක දුරක ඉඳන් බලන් ඉන්නවා.

 අපි ගියපු පාරවල් වල ඒ වසන්නයේ අනන්තවත් මල් පිපිලා තිවුනා ඉස්සර.ඒත් මේ ඉඩෝරෙට  මල් තියා ගස් අතු දළු ලන්නේ වත් නෑ දැන්.


 ජීවිතේ හරි පුදුම තැනක් කියලා විතරයි අදත් මම හිතන්නේ වේලුණු මතක උඩ ඇවිදින ගමන්.


 ඇත්තටම ජීවිතේ පුදුම තැනක්.


අපි  හොයාගෙන ගියපු අරමුණු අහසට පොලොව වගේ. හරියට අපි අතර මැද්දේ අපිව වෙන් කරලා තිබුණු නොමැකෙන රේකාව වගේ. අපි විතරක් නෙවේ සමාජේම දෙකට බෙදලා තියන මේ රේකාව පසාරු කරන් ආවේ මල් සරාගේ මල් දුන්න විතරයි. පස්සෙන් පහු කාලෙකදි“ඇයි අපිව හොයාගෙන මේ මල් හීසරේ ආවේ“කියලා අපි-අපි අස්සෙම උත්තර නැති ප්‍රශ්නෙකට උත්තර හෙව්වා

උන් හිටි තැන් පවා නැති විච්ච දෝතළු මලකට පෙම් කරන්න බැරි  ප්‍රේමවන්තයෙක්ගේ අදෝනාව තාමත් ඒ ඇස් වල ඇති කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒත් මම ලියන අකුරක් පාසම කුණු ගොඩවල් අවුස්ස අවුස්ස කියවන සුන්දර හිතැත්තෙක් තාමත් මගේ හෙවනැල්ලටත් වඩා කිට්ටුවෙන් මගේ ලඟ ඉන්නවා කියලා මම දන්නවා. 

Thursday, March 12, 2015

සමනල් හීන.


අතීතයෙන් එහා.. බොහොමයක් එහා දි ගෙතුනු හතර බීරී කතාවක් ජීවිතේ රහ රහස් අතර සජීව සුව විදිමින් ඇවිදින්න පටන් ගෙන කාලෙක පටන්. ආරම්භයක් අවසානයක් තියා හරි හැටි හමුවීමක් වෙන්වීමක් වත් නැති පුංචි සමනලයෝ..., උඹයි මේ කතාවේ උරුමක්කාරයා..



වසන්තයේ ඉර බහින හැන්දෑවක මුණ ගැහුණු පුංචි සමනලයෝ,.. උඹේ පාට අමතකයි දැන් මට හොඳටෝම. සුලඟකට පාවෙලා නුඹ ආව වඟ විතරක් ජීවමානයි හැමදාම.

පෙඳ පාසී සීතලට උඹේ ඇඟ සීතලව, රන් පාටින් දිළිසුනු ඒ අවරගිර  හැන්දෑවේ සිතුම ආයෙමත් නොඒවී කිසි දාක. ඒත් උඹ දන්නව  ද මේ ගිම්හානෙත් රෝස මල් පිපිනවා මෙහේ තාම.

වසන්තය ඉඟිලුනා උඹ ඇවිත් ගිය දාම..
රෝස මල් පරවෙන්නේ නෑ තාම..
දැන් ඉතින් ..
ඇවිත් යන්න වත් එන්න මේ වසන්තයේ, මඟ නෑර..

Wednesday, March 11, 2015

මම සහ පළමු පෙම.


මං  ආදරෙයි
හ්ම්ම්..
මං ඔයාට ආදරෙයි.
හ්ම්ම්ම් ම්..
ඇහුන ද ..මං ඔයාට ආදරෙයි අප්පච්චී..
හරි දරුවො ..දැන් ඔයාට මොනව ද මට කියලා අර ගන්න ඕනේ..


තාත්තාගෙයි දියණියකගෙයි බැඳීම පුදුමයි..ඒ තමයි පුංචි කෙල්ලෙක්ගේ පළමු පෙම. හැර ගිය - හැර යන ආදරෙන්, හැර නොගිය පළමු පෙම. තවමත් මම අදහන එකම පිරිමි හිත ඔහුම වීම පුදුමයක්..


මහ ගෙදර ඉස්තෝප්පුවේ තියන හාන්සි පුටුව උඩ අප්පච්චිගේ ඔඩොක්කුවෙ ‍කොච්චර නං වාරයක් මම නැලවෙන්න ඇද්ද.. ඒ හැම වාරෙකම ඔහුගේ ඇඳුම මම කොච්චර නං තෙමන්න ඇද්ද..කාලය පුදුම තරම් වෙනස් කම් කර ඇති අපූරුව.. ඔහු  ඒ පුටුවේ තැන්පත් වෙලා දවසක මගේ දරුවන් වත්  නලවා වී.. හරියට මගේ සීයා ඉස්සර දවසක අප්පච්චීව නැලෙව්වා.. පස්සෙන් පහු මිණිබිරියක් විච්චි මාවත් හුරතල් කලා වගේ..


ඉස්සර හවසට ඔහු ගෙදර එන තුරු මම මඟ බලන් වුන්නා.. පුදුමයි.. අද මම එන තුරු ඔහු මඟ  බලන් ඉන්නවා..කාලයට නොකල හැක්කක් නෑ කියලා අද මම දහස් වාරයක් විශ්වාස කරනවා. ජීවිතේ අරුම පුදුම තැනක්. හුරු පුරුදු දේවල් නැවත නැවත සිදු වෙනවා, පුංචි පුංචි වෙනස්කම් ඇතුව. හරියට එකම ගීතයක් වෙනස් තාල දෙකකට කියනවා වගේ.

පිතෘත්වය නැමැති රන් දමින් බැඳුනු මිත්‍ර සමාගමක් ඔහුත් මාත් අතර පැවතියා , හුදෙක් අප්‍රමාණ පියවරුන්ට සාපේක්ෂව.අහස් මාලිගා, මිරිඟු සිහින, හමුනොවෙන බලාපොරොත්තු වලින් ඔබ්බෙහි තියෙන රළු යතාර්ථය උඩට ඇඳලා දාන්න ඒ මිත්‍රත්වය හැකි වුණා නිතරම.

අතීතය දිග කතාවක් මුල මැද අඟ නොපෑහෙන. අවශේෂ චරිත අප්‍රමාණව වුන්නු ඒ කතාවේ ඔහුටත් දුෂ්ඨයගේ චරිතේ රඟ දක්වන්න තිවුණා එහි නොඅඩුව.අරමුණක් විරහිත ඒ කතාවේ අවසානය නොලියම අද මම මඟ ඇරියා.. නොගැලපෙන තැනකදි පුංචි නැවතීමේ තිතක් තියලා.

Thursday, March 5, 2015

සංසාර වන්දනාව


ඊයේ (2015.03.05) මැදින් පුර පසලොස්වක. කාලෙකට ඉස්සර පෝය දාට උදෙන්ම ලමා සාරියට උඩින් උතුරු සළුවත් දාගෙන අත්තම්මා පස්සෙන් පන්සල් ගියා සිල් ගන්න. මම ඇගේ අත් වාරුවෙන් ගියපු කාලෙකුත්   ඈ මගේ අත් වාරුවෙන් ගියපු කාලෙකුත් තිබුණා . ඒ යුගයන් දෙකම දැන් පහු වෙලා මේ අලුත් පරිච්ජේදයක්.

මෑත කාලෙක පටන් පුලු පුලුවන් විදියට පෝය දාට අපි කැළණි පන්සල් ගියා. ආත්ම ගානක කරපු පව් ටික හෝද ගන්න. ලබන ආත්මෙදි දිව්‍යලෝකේ ඉපදුනේ නැති වුනත් අපායට නොවැටුනොත් හොඳ හංදා.

පන්සලේ ඉස්සරහා පාරේ දිගටම මල් විකුණන මිනිස්සු. මේ උදවියට පෝට දාට පන්සලත් හොඳ වෙලඳපොළක්. මම ඒ පැත්තවත් නොබලා අම්මාගේ වෙව්ලන දෙපා වලට ඇවිදින්න වාරු දුන්නා. නංගී කොහොම හරි අප්පච්චිගේ ඇගේ එල්ලිලා නෙළුම් මල් පහක් අරගෙන. ගෙදරින් ගෙනාව සුදු මල් කවරෙයි, පොල් තෙල් , පහන් තිර  ඔක්කොම අප්පච්චිගේ අතට දීලා ඇගේ නෙළුම් මල් ටික අරගෙන සෙනඟ අස්සෙන් රිංගගෙන පිය ගැට පෙල නැංගා.

සෙනඟ අස්සෙන් රිංගගෙන පෙනෙන නොපෙනෙන ගානට යන නංගී දිහා බලලා අම්මා ලොකු හුස්මක් ඉහළ ට ඇද්දා, ඇගේ ඉස්සරහා එවරස්ට් කන්ද වගේ   තියෙන පිය ගැට පෙළ නගින්න. ඒත් මම දන්නවා, ඇඟෙන් බාගෙක බරක් වත් උස්ස ගන්න ඇගේ දිරච්ච ඇට කටු වලට හයි ය නෑ කියලා. මීට වඩා දුෂ්කර කදු පල්ලං වල ඈ අපිව වත්තං කරගෙන ඇවිදින්න ඇති බොහොම ඉස්සර දවසක.  යුකයක අවසන ඈ ලදරුවක් වී මා වැඩිහිටියකු කර ඇති වඟක් කාලය මට යන්තමින් තේරුන් කර මින් හිටියා

අම්මාගේ ඇස් වල මහ වරුසාවක් වස්සන්න කඳුළු පිරිලා තියෙන වා මම දැක්කට නොදැක්ක ගානට , ඇගේ ඉණ වටා අත දාලා අල්ල ගත්ත, 'කවදා වත් වැටෙන්න දෙන්නේ නෑ ඔයාට' කියලා වචන වලින් නොකිය ඈ ට ම තේරුං ගන්න දීලා. මල්ලී අනික් පැත්තෙන් අම්මාගේ ඉණ වටේ අත දාලා අල්ල ගත්තා. දැන් ඉතිං එවරස්ට් නෙවේ ඊට වඩා කන්දකුත් නැග්ගැකි. ඈ පුදුම විශ්වාසෙකින් පිට ගැට පෙලේ පළවෙනි පඩියට පය තිබ්බා.

සෑහෙන වෙලා වකට පස්සේ ඉහළම පඩියට නැඟලා අම්මා ආයෙමත් හැරිලා පහළ ම පඩිය දිහා බැලුවා. බාගදා ඈ හිතන්න ඇති , නැග්ග මෝඩ කම කියලා.. ආපහු බහින්නත් ඕනෙනෙ නැග්ගා වගේ ම. මම ඇගේ සිතුවිලි වලට මගේ සන්තාන සමපාතනය කලා බොහොම වැරදී.

'ඔය දෙන්න නොයින්න අද මට මේ පඩි නගින්න වෙන්නේ නෑ'

මගේ පපුව ඇතුලේ පුපුරු ගහන ගින්දරක් ඇවිලිලා ඇස් වලින් නලියන දුන් පිට වුණා ඒ වචන වලට.

අම්මා අසනීප උනායින් පස්සේ අපි කැළණි ආව පළවෙනි වතාව මේ.

වයසටත් වැඩියෙන් ජීවිතේ එක්ක හැප්පුනු අප්පච්චිට තනිවම අම්මාව වත්තං කරගෙන මේ පඩි නගින්න බෑ . හැබෑව.. අද අපි නොයින්න ඇගේ කැළණි වෙහෙර වැදිල්ල අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක්.

Tuesday, March 3, 2015

ගිම්හානයේ දවසකට පෙර


මා මගේ වියපත් සිතුවිලි එකිනෙකට ගලපමින් අතීතාවර්ජනය කලෙමි. උන්මාද වසන්තය අහවරයි. එකි නෙකට නොපෑහෙන වර්තමානය තුල අනාගත සිහින පෙනෙනා තෙක් මානයක වත් නැත. වරෙක මරණය මා අසලට පැමිණෙතයි දැඩි බලාපොරොත්තු තබා ගෙන වුනෙ මි. නමුත්, සිහින බොඳ කරමින් මරණයට ද මා එපා වී ගොස් ඇති වඟයි මට ම - මා මෙන් ම.


දෑස් වසාගෙන සිහිපත් කරන්නට සුවපත් දිනයක් ඇත් නම්.වසන්තයේ දිනයක්. මල්, ගස් - වැල්, සීපා වුන් සුව විදිනා දිනයක්. මේ පව්කාර ගිම්හානයට පෙර දිනයක්.


සිහිනයෙන් අවදි වූවකු මෙන් අත පත ගාමින් ජීවිතය සොයා ගන්නට  අපරිමිත වෑයමක යෙදුන ද සොයා ගත නොහැකි විය. කවරක් ද ජීවිතය, කිසිදාක මා  නොදුටු ??

Monday, March 2, 2015

ආදරණීය හිතැත්තී නුඹ !!

ඈත මෑත නොපෙනුනත් මීදුමෙන් වැහුනු ජීවිතේ ඉවරාවක් හොයා යන ගමනේ අහඹු නැවතුමක මා නැවතී සිටිමි. සිහිනයෙන් අවදි වූවකු මෙන් වරෙක උන්මාදව කියවමින් ද තවත් වරෙක ඉබාගාතේ ඇවිදිමින් ද ගෙවූ පෙර දවස් මතකයෙන් තවම ගිලිහී නොගොස් සුරක්ෂාවේ ඇත. ජීවිතේ බොහොම මෑත බාගයකදී නිමා වූ ඒ විපරියාස සමයේ කතා නායකයා තවමත් ඉඳ හිට සන්තානේ අහු මුලු වලදී හමු නොවු නා නොවේ.

දවසක මට නුඹත් එක්ක කෝපී කෝප්පයක් තොල ගාන්නට ඇත් නම් ඉස්සර වගේ මහ ගෙදර ඉස්තෝප්පුවේ ඉඳන්..

මම ඔහොම අහන්න බලාගෙන උන්නා බොහෝම කාලෙක පටන්. පණ නොආපු සිතැගි අතර ම සිර වුණු වචන විලංගු වලින් ගිලි හෙන්නේ නැතිව ම මිය ගිහින් දැන් අවුරුද්දකටත් කිට්ටුයි. අනන්ත සංසාර ගමනේ කොහේ හෝ කෙල වරක දි අපි ආයෙම මුණ ගැහේවී යම් භවයක. සිප වැලඳ ගැනීම් ඇතත්  නැතත් ස්නේහ සැමරුමෙන් අප හැදින ගනීවී එදිනට.


ආදරණීය හිතැත්තී නුඹ !!
නුඹේ අවසන් හුස්ම වැටෙන මායිමකට වත් එන්නට පින් නොකළ පව්කාර මිණිබිරිය මම..





Sunday, March 1, 2015

නොමළ ප්‍රේමය

අතින් ඇල්ලා නැවතිය නොහැකි අසීමාන්තික සිතුවිලක එල්ලමින් දඟලන හැඟීම් අපි ප්‍රේමය යැයි නම් තබමු. මේ ප්‍රේමය අපේ ජීවිතවල පැටලෙමින් විවිධ කාල පරයාසයන් තුල දී  අනේක වේශයන් වලින් පෙනී සිටී. විටෙක ප්‍රකෘතිය ලෙසත් විටෙක ආදේශකයක් ලෙසත් තවත් විටෙක අසම්මතයක් ලෙසත් ආදී විවිධාකාරයෙන්.

මා දකින උත්තරීතරම ප්‍රේමය සිදුහත් යශෝදරා. ආත්ම ගණනක පාරමිතාවක් ඒ ආරය තුල ගැබ්බරව සංසාරෙන් සංසාරට ඔවුන්ව එක්කලා. නාම මාත්‍රික ආලයෙන් එහා ගිය ගෞරවණීය ගැඹුරු සිතිවිල්ලක් ආදරය නම් වූ අකුරු හතර තුල ඇති වඟට ඔවුන්ගේ චරිත කතාවන් වලට පණ දුන් අතීතය සාක්ෂි දරයි. නමුත්, හුදෙක් සිතුවිල්ලක රැදෙන කතා දාමයක් ඇර වර්තමාණ තාරුණ්‍ය තුල සිදුහත් යශෝදරා ප්‍රේමය ත් මියැදුණු චරිත පමණයි.

අප කිසිවෙකුගේ හිත් තුළ නොමළ ප්‍රේමයක් ඇති ද? බොහෝ මිනිසුන්ගේ පිළිතුර ඒ ප්‍රථම ප්‍රේමය වඟයි. නමුත්, මේ තාරුණ්‍ය ප්‍රථම ප්‍රේමය යට අත් පොත් තබනුයේ පාසල් වියේදීමයි . පැහැදිළිවම කීවොත් හයක් හතරක් නොදන්නා වියේමයි. පාසල් විය නිමා වත් සමඟ ‍බොහෝ විට මේ ප්‍රේමය නිමාව දකී. යම් කිසි දිනෙක අතීතය දෙස හැරී බැලූ දාකට මට මෙවන් ප්‍රේමයක් පාසල් වියේ තිබූ වඟ සිහි කොට උපහාසාත්මක් ව තමාටම සිනාසෙමින් සිහිපත් කරනවා මිස එහි කිසිදු ජීවයක් ඇති ප්‍රේම වෘතාන්දරයක් නැත.

මගේ ජීවිතයට ද ප්‍රේමය විවිධ හැඩ තල පාමින් පැමිණ ඇත. වරෙක හොර රහසේම .. තවත් වරෙක ප්‍රසිද්ධියේම. එයින් ප්‍රථම ප්‍රේමය වූ අයෙක් මගේ මතකයේ වත් නැත. නමුත් ජීවිතය තුලට ම ලැඟ ගත් අපරිමිත ‍ ප්‍රේම වන්තයක් පිළිබඳ මා දනිමි.  ඒ මගේ රම්‍ය අවධිය වූ නොමළ ප්‍රේමය යැයි නම් තැබීම යුතු මැයි.  

ශා ජෙහාන් රජු තමන්ගේ බිසවක් සිහි වෙන්න කිරිඟරු‍‍‍ඬෙන් සමාධියක් ඉදි කලා ඈ මළ දායින් පසු. මේ බිසව ශා ජෙහාන් රජුගේ අතංපුර බිසවක් වුනු මුන්ටාස්. ඔහු මේ සමාධියට ටජ්මහල එ යැයි නම් තබන ලදි. එහි සැබෑ තේරුම මන්දිර අතර කිරුළ යන්නයි. මුන්ටාස් එහුගේ ප්‍රථම ප්‍රේමය හා එකම ප්‍රේමය නොවෙතත් ඈ ඔහුගේ නොමළ ප්‍රේමය වන්නට ඇති වඟට සැකයක් නෑ. ටජ්මහල තුල මුන්ටාස් බිසවගේ සොහෙන ඉදි කළ වඟ ද අතීත කතා වල සඳහන්.  


අදරෙන් පැරදුණු හැම විටම කතාවට අපි කියන්නේ මුහුදෙ ඉන්නේ එක මාළුව ද කියලා. මුහුදෙ මාළු මොන තරමට පීනු වත් මේ භවයෙදී අපි ට රත්තරන් මාළු වෙක් අහු වෙන්නේ එකම එක වතා වක් හෝ අහුනොවන තරම්.. අනිත් මාළු සියල්ලම අරමුණක් නැතිව අතිනත හුරතල් වෙන සංකර චරිත. ඔවුන් සමීපයේ ඇරඹෙන නුරාව සැබෑ ලෝකයේ බොල් ආදර හීන.