හැගීම් එකතුවක අවසානයේ ක්ශේෂ වන බලි කුරුටුවක් තරමට ම අද අහස අවිනිශ්චිතයි.
කොනක අදෝනා දි දී පල්ලන් බහින ඉර මායිමෙන් ම, හඳ අහස සිසාරා යන ගමනක් අරභා ඇති
අපූරුව. නාඹර හඳ ගල්කිස්ස මුහුද පුරාම අසමමිතික හෙවනැලි මවමින් කෝලන් කරන්නට හදාවී
වැඩි කල් නොයාම. මේ මොහොත තුලම අමරණීය වන්නට ඇත් නම්.. ඈ සමඟ .
හෙවනැලි දුව
පනින සීතල කරුවලේ මගේ පිටු පසින් වැල්ලේ හිඳගෙන
වුන් ඇගේ සුරත හොයානෙ අත ගාන්නට වුනා මහපොලොව.. පිටි තරමටම මෘදු සීතල වැලි
අතර මගේ ඇගිලි එරෙණු මිස ඈ ඇස් මානයේ වත් නැති වඟ දැනෙන්නට ගත වූ වෙලාවක්. අඳුර
පසාරු කරන් මගේ ඇස් ඈ සොයන්න ගත්තා. තතනමින් මුහුද ඉර ගිලින යාමයේම ඈත්
අතුරුදහන් වන්නට ඇති ඉර සේම. මට මාව වත් නොපෙනෙන කළුවරේ දැන් මමත් මුහුදත් පමණක්
ඉතිරිව ඇතත් ඇගේ කම්මුල් සිප ගනිද්දී දැනුන සුවඳ තාමත් මට දැනෙනවා මුහුදු හුලඟට යා
වෙලා.
පුංචි වැලි කදු
හොය හොයා එන රළ පේළි, මුහුදට දික් වුණු මගේ දෙපා උඩ නවාතැන් ගත්තට වැල්ලේ ලිව්ව
ඇගේ නම නං මැකිලා යනවා තප්පරේට. මුහුදු
රළට නොදෙවනි මගේ දඹර ඇඟිල්ල ආයෙමත් ලිව්වා ඒ මත්තේම ඇගේ නම ..ලෝජිනී.
මොහොතකට ඉස්සරින්
හරි හෙමින් හුස්ම ගත්තා මේ මහ මුහුද. ලෝජිනී මගේ හිතේ ගැඹුරුම තැන පසාරු වෙන්නම
කියපු වචන ටික හොරෙන් අහන් ඉන්න වගේ..
“ අපිට කවදාවත්
කසාද බදින්න බෑ.. ඔයා සිං..හල.. නාන් ටැමිල්. අපේ අප්පා කැමති නෑ. මේ සම්බන්ධෙ
වැඩක් නෑ.. ඉවර කරමු. ”
දෙමල වචන අස්සේ
ඈ දන්න සිංහල වචන ගොඩ ගැහිලා, මම ඇගේ ගේ කිට්ටුවටම කුලී කාමරේකට ගියාට පස්සේ. මම
උගන්වපු මගේම වචන වලින් මට දමලා ගහන්න පුළුවන් හොඳම වචන ටික ඈ දැන් හොයා ගෙන. වැරදේවි
කියලා බයට වෙනදා පුංචි ඇස් දෙක බිම බලාන අහුලන වචන ඈට අද පිටාර යනවා බයක් හැකක්
නැතිවම.
“අප්පා කැමති නැත් නං .. ඔයා මාත් එක්ක එන්ඩ..
අපි ගිහින් කසාද බඳිමු..අපි දෙන්නට නවතින්ඩ හොඳ කාමරේකුත් මං හොයා ගත්තා.”
“ පිස්සු
හැදීගන එනවා.. ඔයාට..? අපේ අප්පා දැන ගත්තා තමා මම ඉවරයි..”
“අප්පාට කියලා
සමාව ගමු පස්සේ..”
අයි අයියෝ...
මට බයයි අප්පා..
ඇයි.? මත් එක්ක
එන්ඩ ද බය?
ඉල්ලේ.. අපේ
අප්පා දැන ගත්තාම.. ඉවරයි මම.. යේමයි කියලත් බෑ..මට මාතියාවත් ඕනේ..
දෙලොවක් අතර හිර වෙලා ඈ .පුංචි ඇස් හරි ලොකුවට
මගේ පැත්තට කරවන්. මම සති ගානක් තිස්සේ දියත් කරපු කුමන්ත්‍රණේ අවසන් තීන්දුවත්
වෙඩි වගේ ඈ පැත්තට යැව්වා..
“ලෝජිනී ඔයා
මාත් එක්ක එන්ඩම ඕනේ.හෙට උදේ හරියටම අට වෙද්දී මෙතනට එන්ඩ. මම අරන් දුන්න ඇඳුමක්
ඇඳගෙන එන්ඩ.වෙන මුකුත් ගේන්ඩ එපා.. මතකනේ .. හරියටම.. අටට..”
ඇගේ සුසුම් හැර සියොලඟම නිහඬයි. මගේ වචන වරුසාවත්
පෑව්වා ඉර බහින යාමෙදි.
බොහොම ඈතක සිටම
තනිකමට නෑකම් කියන මගේ හිතින් තනිකම පන්නලා දැම්මේ ඈ. මට එරෙහිව ලෝකෙම කඩු පොළු
උස්සන බයට ඈ නැතිව, පන්නලා දාපු තනිකම කැන්දගෙන එන්න මගේ හිතේ කොනකවත් ධෛර්ය ඉතිරි
නෑ. නමුත් ඇගේ පුංචි හීන ගොන්නක් මම කඩමාලු තරමටම විසි කරලා දාන්න හදනවා කියලා ඉඳ
හිට මට නොදැනුනා නෙවේ. ඈ මවන්න ඇති හීන කන්දරාවාක් සර්ව සම්පූර්ණ චාරිත්‍ර එක්ක
දීගෙක යන්න. හෙට ඒ හීන බල්ලට දාලා මගෙත් එක්ක විවාහ දෙජිස්ටාර් ලඟට යන්න ඒවිද?
පිළිතුරු ඈ ලඟම මිස මගේ හිතත් මුතිවත බිඳින්නේ නෑ ඒ ගැන.
ගල්කිස්ස හෝටලේ
ගොඩනැගිලි අස්සෙන් ආලෝක ඉරි අඳුර ඉරා ගෙන ඇවිත්.
මෙහෙම සීතල රාත්‍රීන්වල අප්‍රමාණ වතාවක් මම ලෝජිව සිප වැළඳ ගන්න ඇති. හුළඟට
නලියන කෙස් කැරලි කන පිටි පස්සට කිරීම මගේ යුතුකමක් වෙලා. කොන්ඩේ ඇගේ නෙමෙයි ගානට
දාල කැඩිච්ච සිංහල හරි හරියට කියවද්දී මගේ යුතුකම ඉටු නොකලොත් බැනුන් කෝටියයි.
වෙලාවකට ඒ බැනුම්වලට මම කැමතී. නෝක්කාඩුවට බනින්නේ දෙමලෙන්. ඈ සිංහල වචන එකතු කර
ගත්ත තරමට ඈගෙන් මට දෙමල වචන එකතු කර ගන්න බැරි වුණා මේ අවුරුද්දටම.. නොතේරෙන
බාසාවක් කියවන ඇගේ කට හැරවෙන විදිහට මුණේ ඉරියව් මාරු වෙන විදිය බලන් ඉන්න
ලස්සනයි. කොටින්ම මම දෙමල දන්නේ නෑ තාමත්. හඳ එළියට ඒ මූනේ කුරුලෑ පැල්ලම් මැකිලා
රත්තරන් පාටයි. ගල් බිල්ලෙක් වගේ ඇගේ මූණේ මම විදින්නේ ඒ ලස්සන.
අඳුරට හාදකම්
පාන මේ මුහුද එක්ක මට වගේම ලෝජිටත් අපූරු නෑකමක් තිබුණා. ඉර බහින හැම හැන්දෑවකම
අපි අපි ගැන කොඳුරන්න මේ වෙරළට ගොඩ වෙන හංදාම නෙවේ. දුරින් ඉඳන් වටින් පිටින් ඉගි
මරපු අපි දෙන්නා හා හා පුරා කියලා මුණ ගැහුනේ මේ ඉව්වෙදි හන්දා. අම්මේ!! එදා ඈත්
මාත් නොදන්න භාසාවක් එක්ක කරපු ය්ද්ධයක්. ඉංගිරීසි වචන දෙක තුනකට කැඩිච්චි සිංහල
කලවං කරලා අණ්ඩර දෙමල කියවන ලෝජිගේ ඇස් කතා කලා මේ මොන භාසාවකටත් වැඩියෙන්. මට
දැනුනේ ඇහුනේ ඒ ඇස් කීව කතාව විතයි.
හඳ අහස මුදුනට
ම ඇවිත්. මහ ලොකු වික්‍රමයක යෙදිලා ජයග්‍රහණය ලැබුව වීරයෙක් වගේ ජය පැන් බොනවා
වටේට නිවි නිවි පත්තු වෙන පරිවාර ස්ත්‍රියොත් එක්ක. “මමත් ජය පැන් බොනවා හෙට. ලෝජිව කසාද බැඳලා.
දෙපැත්තෙම සාක්කියට අත්තන් කරන්නේ මගේ යාළුවො. තව දෙතුන් දෙනෙකුටත් එන්න කියලා
පොඩියට උත්සවයක් තියන්න ඕනේ ”
මගේ හිත උඩ
පනින සද්දේ වෙන කාටවත් ඇහෙන්න නැතිව ඇති. ඒත් මම වටපිට බැලුවා, ලොකු හුස්මක් අහසට
විසි කලා පුපුරන්න ඔන්න මෙන්න ආපු පෙනහළු නිදහස් කරන්න. සීතලට හිරි ගඩු පිපිලා
දෑත්වල. වැලි ගසා දාලා නැගිට්ටේ බොහොම අමාරුවෙන් තනිව මෙහි ගෙවුනු කාලය කොච්චර ද
කියතොත් කකුල් දෙකම හිරි වැටිලා. එළිවෙන්න
තව හෝරා තුන හතරයි. ලෝජිනී ගෙදර මුල්ලකට වෙලා අහස පොලොව ආඳන්න කල්පනා කරනවා ඇති.
ඇගේ ජීවිතේ හෙටින් පස්සේ වෙන විපර්යාසේ ගැන තොරක් නැතුව හිතනවා ඇති. වැල නොකැඩි
කඳුළු බේරෙනවා ඇති. අම්මෙකුත් නැතිව ඈව වත්තං කරපු තාත්තාව දාලා යන්න වෙන දුකට.
මුහුදත් දැන් හයියෙන් හුස්ම ගන්න පටන් අරන්. මගේ හිත වගේම, වේගෙන් උස් පහත් වෙනවා.
ඉඳ හිට රළ පේළි මගේ කකුල් හොය හොයා ඇවිත් දැවටෙනවා. රුළි මායිමේ ඇදෙන මගේ පා සටහන්
එක්කම ටිකකට කලින් වැල්ලේ ලිව්ව ලෝජිගේ නමත් හෝදගන ගියා මහ පොළොව මුහුදට.
යන්තන් හඳ
එළියේ මූදට සමු දීලා මම ඇවිද්දේ ඉබා ගාතේ. හෝරා බාගයක් වත් ගෙවෙන්නේ නැති ගමනක
යෙදෙන්න හෝරාවකටත් විඩියෙන් ගිහින්. කොච්චර පමා වුණාද කියතොත් මේ වැලි පොලොව හොඳට
හුරු මගේ දෙපය දැන් දෙකට වෙන් වෙයි කියලා හිතෙන තරමට රිදෙන්න මම ඇවිදලා. පරංගි
කෝට්ටේ ගියා වගේ රවුමක් ගහලා බෝඩිම කිට්ටුවට එද්දී එතන පුදුම කාලගෝට්ටියක වෙස්
අරන්. නිදි පැදුරෙන් නැගිට්ට උන් කබ කඩ කඩ දුවනවා ලෝජිලාගේ ගේ ඉස්සරහාට. අලුත පණ
ලද්දකු ලෙසින් මගේ දෙපා වේගවත් වුනා. අඩ කවයකට හැදුනු මිනිස්සු රංචුවේ මුනු මුනුව
තේරුන් රහිතයි. මිනිසුසු රංචුව දෙබෑ කරන් ලෝජි මට ඔමරි පාන මල් වැට ලඟටම කිට්ටු කරද්දී, කන් දෙකම පසාරු කලා ලෝජිගේ අප්පාගේ ලතෝනිය. මම දෙමල දන්නේ නෑ ඒ ලතෝනියට හේතුව දැන ගන්න.
ගෙයි පිල් කඩේ ඇණ ගහගෙන මර ලතෝනි දෙනවා පපුවට ගහ ගහ ගෙදර එකෙක්ගේ පණ අහවර වෙලා
වගේ. ලෝජිනී අප්පායි විතරක් ඉන්න මේ ගෙදර එහෙම අකරතැබ්බියක් වෙන්නේ කොහොම ද?
ලෝජිගේ නම අඩ ගගහා කියවන අප්පාගේ ලතෝනිය බහුභුතයි . බාගදා ඈ අප්පාට කියන්න ඇති මා
ගැන. තව හෝරා තුන හතරකින් ඈ මගෙත් එක්ක පිටමං වෙන වඟ. මේ සිතැගි වලින් මගේ හිත වත්තං වෙන්නේ නෑ. හරි
හැටි හා හූවක් දැන ගන්න මම සෙනඟ රංචුව අස්සට ම රිංගුවා.
“ලෝජිනී කෙල්ල
බෙල්ලේ වැල දාගෙන කියන්නේ.. ඒකිගේ අප්පා මර ලතෝනි දෙන්නේ ඒකයි. ඇඳන් වුන්නු සාරියෙන්මලු බෙල්ලේ වැල දාගෙන
තියෙන්නේ. මොකක් හරි කොල්ලෙක්ගේ හුට පටයක් වෙන්න ඇති. ඒකිත් ඇහැට කනට පේන එකිනේ. ”
කාගෙදෝ වචන
වරුසාවකින් මගේ ඉහ මොල දාගෙන ගියා. පොල් උලක් බැස්සුවා වගේ පපුව මැද්දෙන් මොකදෝ
එකක් ගිලා බහින උහුලන්න බැරි වෙදනාවකින් මම පපුව බාදාගත්තා. ඇගේ නම මැකුනේ
මුහුදු වෙරළෙ විතරක් ම නෙවෙයි මුළු ලෝකෙන් ම කියලා අඳහන්න බෑ. ලෝජි අද ඇඳන් ආවේ
අවුරුද්දට මම තෑගි දුන්නු සුදු පාට සාරිය. සුදු පාට අඳින්නේ මොකක් හෝ දුකක් හිතේ
තද කරන් ඉන්න මිස්සු කියලා මට කිවේ ඈ.
ගෑණු කම
විනිවිද යන මගේ පිරිමි ආශාවන් එක්ක ඇගේ ආත්මයම සින්නක්කර ලියා ගත්තු මම ඈට ආදරේ
කලා ද බලහත්කාර කම් කලාද කියලා බොහොම ඉස්සරින් දවසක මම මගෙන් ම විමසිය යුතුව
තිබුණා. පිටමං වෙලා යන්න බැරි තරම් තදට ලෝජි ව බැඳනෙයි වුන්නේ මම මගේ ඉණ වටේ ඇගේ
ගෑණුකම කියන කඹයෙන්. අධ්‍යාත්මය දූශණය කර
ගෙල සිර කළ මා ඇගෙ නියම මිනී මරුවා නොවේ ද? උහුලන්න බැරි සිතුවිලි ගොන්නක මගේ ඇස්
මායිම ගණ අන්ධකාරයේ ගිලමින් පැවතුනා.
No comments:
Post a Comment