Thursday, February 26, 2015

ව්‍යාජත්වය අව්‍යාජත්වයට කිට්ටුවෙන්


ජීවිතය කුමක් වුවත් එහි ඇත්ත සහ බොරුව නම්  වූ දෙපදයන් ට මූලික තැනක් හිමිව ඇත. සියල් ලෝක සත්වයාගේ බැදීම් සත්‍ය මත ම පදනම් නොවෙති. ජීවිතයේ අස් කොන් වල අඳුරු ලප මෙන් රජයන බොරු ද හුස්ම ඉහල පහළ නොදමයි ද?.


යාථාර්තයෙන් ඔබ්බෙහි ඇති බොරුව නම් වූ අප්‍රසන්න වචනයට මා මෙන් ම බොහෝ මිනිසුන් ද්වේශ කරයි. ඒ තරමටම බියක් දක්වයි. නමුත් හැම විටකම අප ජීවත් වන්නේ බොරුව තුලම මිස ඇත්ත සමඟ නොවේ. බොහෝ ලෝක ධර්මතාවන් මවා පෑමක් යැයි මා කී කළ ඔබ පිලිගන්නවා ද?


පරිකල්පන රුප පද්ධතියක මිනිසුන් දකිනුයේ මතුපිට හැඩ තල මිස එහි සැඟවුණු ඇට කටු නොවෙයි නේද? ප්‍රත්‍යක්ශයෙන් ම ගත් කළ අප බය ඇත්ත නම් වූ දෙයට  ට මිස බොරුව ට නොවේ. ගැමියො කතාවට කිව්වේ ඇත්ත තිත්තයි කියලා කට කසනවාට   නෙවේ නේ. ඇත්ත තිත්ත , තිත්ත +  ජීවිතයට සමඟ සම්මිශ්‍රණය නොකොට කඩ තොළු ඇති තැන් අපි අයිසිං නමින් ව්‍යාජකරණයට නැඹුරු වෙන්නෙමු. එකකින් පටන් ගෙන සිය දහස් වතාවක් අපි මේ ක්‍රියාවෙහිම නියැලෙන්නෙමු. බොරුව තුල ඇති මෘදු මොලොක් බවට  අප සියල්ලෝම ලොල් වී  ඒ පසු පසම දුවමින් යාථාර්ථයෙන් බොහෝ ලෙස දුරස් වී ඇත්තේ යථාර්ථයේ ගල් බොරළු උඩ ඇවිදින්න අපේ හිත් වල ඇති අකමැත්ත දැයි මා නොදනිමි.




ජීවිත දෝමනස්සයන්, ආදර පෙරළීන් ආදී විවිධ වූ  සිදුවීම් දාමයන් තුල අපේ රඟහලට ආගිය පුද්ගලයන් තුල කොතෙකුත් අප්‍රමාණ විවිධත්වයන් ඇද්ද. ඇතැම් මිනිසුන් අපේ දොඩමළුවෙන් සමුගත්ත ද ඔවුන්ගේ හඩ අපේ හිත් වල සදාතකනිකව දෝංකාර  නඟයි. එය තීරණය වනුයේ ඔවු න් අප ජීවිත තුළ රඟන රන්ඟණීය චරිතයන්ට ඔහු හෝ ඇය කෙතරම් අවංක වූවද යන්න මත පමණයි.

Wednesday, February 25, 2015

හෙවනැල්ලයි මමයි

හිටි හැටියේ අසනීප වුණු අප්පච්චී, ඇවිදින්න බැරි අම්මායි එක්ක මගේ ජීවිතේ තව තවත් ලං වෙන්නේ දුප්පත් කමට. ජීවිත ප්‍රස්ථාරේ ඍණ සංඛ්‍යාවලට යන්න පටන් ගත්ත දා පටන් නොදන්න මිනිස්සු පවා මට උපදෙස් දුන්නා, ජීවත් වෙන හැටි කියා දෙන්න. මේ ඵල රහිත කන්දොස්කිරියාව මම අහන් වුන්නේ ඒ දවස් වල බොහොම අසීරුවෙන්. පස්සෙන් පහු කාලෙකදී බහුතරය සුළුතරයට පෙරලුනාම කන්දොස්කිරියාව ඉබේටම නැවතුනා.

“මට ජීවිතේ බිංදුවේ ඉඳලා පටන් ගන්න වෙලා.”

“ඒක හොඳයි.

“ඒ ඇයි?”

“ජීවිතේ මුල ඉඳන් පටන් ගන්න මිනිස්සුන්ට සාර්ථක වෙන්න ලේසී. ඒ වගේම ඒ මිනිස්සුන්ට මුල අමතක වෙන්නෑ කවදා වත්.”

 “කියන්නං ලේසි යි .. ඕවා ඕන කෙනෙක්ට”

“හැබැයි ඒක කියන තරන් ලේසි නැ තමයි කරන්න ගියාම. අවබෝධයෙන් වැඩ කරන්න ඕන. මට පුළුවන් විදියට ඔයා ට හෙල්ප් කරන්නම් නංගා.”

ජීවිතේ කොනකට වෙන්න මගේ ලඟ නතර වුනේ, ඔන්න ඔහොම කිව්ව සහෘදයා විතරයි. එත්, පෙනෙන නොපෙනන තරමට ඈතින්.

“පණ උනත් දෙන්න හැකි” යි. කිව්ව ආදරේත් අනෝරා වැස්සකට අහුවෙලා දිය වෙලා ගියා. වැලලිච්ච රෝමාන්තික කවියේ අන්තිම පද පේළියත් මට මෙන් ම ඔහුටත් අමතකව ඇති. සාධාරණ අසාධාරණ ගැටුම් කෙලවර අපේ වෙන් වීමේ අවසන් තීන්දුව ලිය වුනේ මොන ම හේතුවට ද කියලා දවසක ඔහු මුණගැහුනොත් අනිවාර්යෙන්ම අහන්න ඕනේ. මගේ හිත කොනක වත් නැති මේ ප්‍රශ්න උත්තර බාගදා  ඔහු සමීපයේ ඇති. පණ නේන ඒ අතීත කතාව ආයේ ලඟ නැතුවට ඉඳ හිටලා ඇස් තෙත් කරන් කඳුළු වැටෙනවා තවම.

මේ සියල් බැඳීම් මකුළු දැලක තරමට වත් ශක්තිමත් නෑ.  “ඇති හැකි දවස්වල ඉන්න අප්‍රමාණ නෑදෑ මිත්‍රයෝ නැති බැරි දාට වෙන්ව යනවා” කියන කියමන සඵත කරමින් ඔවුන් නික්මිලා පැදුරටත් හොරෙන්. ව්‍යාජ බැඳීම් ගැලවිලා. මගේ සිතුවිලි නග්නව යථාර්ථය දිගේ වැටි වැටි ඇවිදින්න පටන් ගෙන. “දවසක ලෝකෙම මිනිස්සු කියවන පොතක් ලියන්න ඕන” කියන අමුතුම පිස්සුවකුත් එක්ක.

වේදනා දෙන අම්මාගේ කඳුළුයි,  හැඬුම්බර අප්පච්චිගේ හිතයි, දුර්වර්ණ විච්චි ගෙදර බිත්ති හතර මැද ගුලි වෙලා තියෙන ඔවුන්ගේ හීනයි මගේ ඉහ මත්තේ ගොඩ ගැහිලා. අප්‍රමාණික වේදනා, සිනා පිරුවටේකින් වසාගෙන මම මගේ හිත සිර ගත කළ අපූරුව මට ම පුදුමයි. කෙසේ කෙදිනක අවසන් වේද යත් නොදන්න මගේ දෛවයේ මේ සිදුවීම් සමුදායම එක පෙලට ලියවෙලා තියෙන්න ඇති. මම මෙතුවක් නොදැන වුන්නට.
මිනිස්සු පතන සියුම් මෘදු මොලොක් ජීවිතෙන් එහාට කළු සුදු පරිසරයෙක අපේක්ෂා භංගත්වයෙන් අඩු නොවුනු කාල සීමාවන් අනපේක්ෂිතව පැමිණෙනවා යි මොකදෝ පොතක මම කියවලා තිබුණා . මේ ගෙවෙන ගිම්හානේ අවසන්ව වසන්තය පැමිණේවි. නමුත්, අවිනිශ්චිත කාල පරාසරයක් ඒ පිළිබඳ මගේ සන්තානේ  ඇත්තේ. ඒ වසන්තය පැමිනෙන දා, මා මගේ ජීවිතයේ කොතැනක හිදීවි ද යද්ද පිළිබඳ වත් ලොකුවට ප්‍රශ්නාර්ථයක් ඉතිරියි මගේ ලඟ.

ප්‍රීතිය සිරගත කොට වේදනාව මුදුන් පමුණුවාගෙන ලෝකේ කැරකෙන්නේ  මගේ ජීවිත චක්කරේ කැරකෙන පැත්තට ප්‍රතිවිරුද්ධව. අනුන්ගේ හීන මගේ වචනවලින් පණ එන කාලේ අසීමාන්තික ලෝකයක තනිව මම, පිහිටක් නැති, හෙවනක් නැති  කටෝර බිමක හිස් අවකාශය පුරාම අනන්ත හීන දකින කෙල්ලෙක්.

ප්‍රේම මාණික්‍යය



සැබෑ ප්‍රේමය වනාහි අන්ධකාර දූපතක ඇති නීල මාණික්‍යයක් වැනි ය. මෙය සොයා යන්නෝ බහුල වන අතර සොයා ගන්නෝ විරල ය . ඔවුන් සැබෑ  වාසනාවන්තයෝ ය. දැලි හලං කෑලි  සොයා යන ප්‍රේමය සත්‍ය‍යෙන් තොර සුරන්ගනා කතාවන් පෙළකි. එකකින් නතර නොවන අපි නිරන්තරයෙන් ම ප්‍රේම මාණික්‍ය සොයන්නට මේ දනව්වට පිවිසෙන්නෙමු. අවාසනාවට බොහොමයක් ඇස ගැටෙනුයේ වටිනාකිමින් අඩු ව්‍යාජත්වයෙන් ඔප වැඩුනු ප්‍රේමය මයි. 

ආදරණීය මිනිස්සු


චිත්ත මනෝභාවයට ආමන්ත්‍රණය කෙරෙන ආදරණීය හිතැත්තන් ලෝකේ කොහෝ හෝ  හොයා ගන්නට සිටී නම්.. අප්‍රමාණ වතාවක් මා ඔවුන් සොයා ඇවිද ඇත. තවත් යා නොහැකි තැන නැවත, අතීතයත් වර්තමානයත් අතර සිර වූ චරිත කිහිපයක් අකුරු අතර සිර කරන්නට මට දැන් උවමානාය. වෛරයකින් තොර කලකිරීම් සමුදායක්ම හිත් වේදිකාව ඉදිරිපිට මුල් අසුන් හොබවමින් මට ම ඔච්චම් කරයි.

සැබෑ ආදරණීයෙක් මගේ ජීවිතයේ කොහෝ හෝ තැනක සිටියා ද යැයි අතීතයේ කුණු මල්ල අවුස්සා හොයා ගන්නට උවමනැයි. නමුත්, කිසිවෙක් නැතැයි මම හොදාකාරව ම දනිමි.  කුමන අනුභූතියක වුවත් සෑම ස්ථරයෙකම මිනිසුන් මගේ මිතුරන් වී සිටි කාල වකවානු වල ඔවුන් පැමිණියේ මාරුතයක් ලෙසිනි. ආ විගසම කල්පාන්ත සුළඟට නොදෙවෙනිව හැර යාම සටහන් ය.



කෘතියක අවසානයේ එහි නැවතීම් තිතක් තබනු වස් ලේඛකයා උනන්දුවෙන් අවසානය තරණය කරයි. නමුත් ජීවිතයේ නැවතුම් තිත් කොහිද. කිසිවක් නැත. ප්‍රශ්නාර්ථ පමණක් නිරුත්තර ප්‍රශ්න ඉදිරිපිට හිට ගෙන සිටී.

පාවෙන රුපියල්



පරණ පත්තර කෑල්ලක තිබිලා කියවාපු එක කතාවක් කියන්නම්..

බුදු රජාණන් වහන්සේ නගරයට වඩිමින් සිටිය දී, ඒ නගරයේ ජීවත් වුණා, සුදාස් නම් දුප්පත් සපතේරුවෙක්. මොහු උදේ පාන්දර අවදි වුණ හැටියේ දැක්කා තමන්ගේ පුංචි පැල පිටි පස්සේ තියෙන වැවේ පිපිලා දිදුළන නෙළුම් මලක්. මේ ඍතුවේ පිපෙන මලක් නෙවේ මේ පිපිලා තියෙන්නේ, සුදාස් පුදුමයෙන් කල්පනා කලා, “මේ මල වෙළඳපොළට රැගෙන ගියොත් එක කාසියකට හරි විකුණ ගන්න බැරි වෙන්නේ නෑ” කියලා. මේ කාලෙට නොපිපෙන මේ මල විකුණන්න සහතිකේට ම සුදාට කෙනෙක් මුණගැහේවි කියලා ඔහුට දැඩි විශ්වාසයක් ඇති වුණා. ඔහු මල නෙලාගෙන වෙළඳපොළට පිට වුනේ මේ මලට එක කාසියක් ලැබුනොත් මම හරිම වාසනාවන්තයෙක් කියලා හිතමින්.

සුදාස් යන මඟ, නගරයේ පොහෙසත්ම   මිනිසාගේ අශ්ව කරත්තේ නතර වුණා. “ඔය මල විකුණන්නේ කීයට ද?”  නමුත්, ඒ වෙනුව ට සුදාස් කිව්වේ, “මේ මල මේ කාලේ පිපෙන මලක් නෙවේ” කියලා. අර පොහෙසත් මිනිසා මලට නියම මුදලක් දෙන්න සැරසුනා. සුදාස් හිතුවටත් වඩා බොහොම ඉහළ මිලක්. “මම ඔබට රන් කාසි පන්සීයක් දෙන්නම්” පොහොසත් මිනිසා මෙහෙම කියද්දී රජුගේ හමුදාපතිත් අශ්වයාත් මෙතන නතර කරලා කිව්වා, “ මම මේ මලට පොහොසත් මිනිසා කී ගාන මෙන් දෙගුණයක් දෙන්නම් ඕක මට දෙන්න”
සුදාස් ට පුදුමයි. “ඔය ගොල්ලන්ට පිස්සු ද? පොහොසත් මිනිසා   රන් කාසි පන්සීයක් දෙන්නම් කිව්වා. ඒ වගේ දෙගු ණයක් රජුගේ හමුදාපති මේ මලට ගෙවන්න එකඟ වුණා.  මේ ඇහිල්ලෙම රාජකීය අශ්ව කරත්තෙත් මෙතන එතැන නතර  කළා. “මම ඔය මල මිලට ගෙන ඉවරයි.. හමුදාපති කී මිල මෙන් දස ගුණයක් මම නුඹට ගෙවන්නම් . මට ඔය මල දෙන්න”

ඉමහත් පුදුමයක් මේ සිදුවීම සුදාස් ට. ඔහු මේ මලට බලා පොරොත්තු වුණේ එක කාසියක්. “මේ මින්සුන්ට මොකක් වෙලාද? මේ තරම් මිලක් ගෙවන්නේ ඇයි ඔබලා මේ මලට?”

ඉන් පස්සේ රජු පිළිතුරු දුන්නා. “ඔබ දන්නේ නැහැ. අද නගරයට බුදු රජාණන් වහන්සේ වඩිනවා. අපි එතුමා පිළිගන්න යමින් ඉන්නේ. මම කැමති මේ අසාමාන්‍ය මල බුදුන්ට පුජා කරන්න. මොකද එතුමා හිතන්නේ නෑ අද කවුරුන් හෝ මේ වගේ මලක් පූජා කරවි යැයි.”

සුදාස් ට සියල්ල පැහැදිළී. “ඒක නම් කාරණය , මේ මල විකීණීම පැළිබඳ මට ප්‍රශ්නයක් නැහැ. මම ම මේ මල බුදුන්ට පූජා කරන්නම්.”

මෙහෙම නොකරන්න සුදාස්ව එකඟ කරගන්න රජතුමා බොහොම තැත් කලා. පොහොසත් මිනිසා   , හමුදාපති, රජතුමා දැන් මේ හැමෝ ම සුදාස්ගෙන් අහනවා “ උඹට පිස්සු ද ?” “සුදාස් මෝඩ වෙන්න එපා. නුඹේ අතීත දුප්පත් කම නුඹේ අනා‍ගතේ විනාශ කර ගන්න එපා මේ මල පුජා කරලා. මේ ක අපට විකුණපන්.”
“මගේ සියලු ජීවිතවල දුගී බව දැන් විනාශ වෙලා අවසන්. මම මේ මල පුජා කරනවා.” සුදාස් පැහැදිළි ස්වරයක් නිකුත් කලා.

සුදාස් නගරයේ කෙලවරට යන්න පටන් ගත්තා. ඔහු යන විටත් ඉහත කී පාර්ශව තුනම එතැන රුස් වෙලා ඔවුන් සුදාස් පිළිබඳවත් අසාමාන්‍ය මල පිළිබඳවත් සිදු වූ සියල්ල නගර ද්වාරයෙන් පැමිණි බුදුන්ට දැනුම් දුන්නා. 

මේ කිසිත් නොදන්න සපතේරුවා බුදුනට මේ අසාමාන්‍ය මල පුජා කලා. එවිට බුදුන් මෙසේ විචාලා.
ඕ ..... සුදාස් ඔබ මෝඩයෙක්. ඔබ මේ මල විකුණුවේ නැත්තේ ඇයි? ඔබ ‍එසේ කලා නම් ඔබේ පරම්පරා ගානක ජීවිතය සැපවත් කරන්න තිබුනා. ”

“ ම‍ගේ ස්වාමින් වහන්ස, ආදරයට     වඩා මුදල් උසස් වෙන්න බෑ. ආත්මය මුදලට විකුණන්න බෑ මෙය හුදු මලක්ව තිබුණු තාක් මට ඕන වුනේ විකුණන්න. නමුත් මට ඔබේ පාද ගැන හිතුන මොහොතේ පටන් මල විකිනීම පිළිබඳ ප්‍රශ්නයක් වුනේ නෑ. ඒක මම ඔබ වහන්සේට පුජා කලා. දුප්පත් මිනිස්සුන්ටත් ආදරේ කරන්න පුළුවන්. දුප්පත් මිනිස්සුනට විශ්වාසයට සහතික වෙන්න පුළුවන්. දුප්පත් මිනිස්සුන්ටත් ආත්මයකත් තියෙනවා. කරුණා කරලා මේ මල පිළිගන්න.” සුදාස් බුදුන්ට වැඳ වැටුනා.

********

අද සමා‍ජේ පීරලා හෙව්වත් සුදාස්  ලා නම් නෑ. ඒ වෙනුවට ජුදාස් ලා නම් පඳුරක් පඳුරක් ගානෙම ඉන්නවා. මිනිස්සු කුමන සාධකයක් හේතුවෙන් හෝ මුදල් ප්‍රතික්ෂේප කරයි ද? උසස් වටිනාකම් අතහරීවිද පහත් වටිනාකම් අභයා?

උගත්තු, පෝසත්තු කියලා බැජ් ගහගන ඉන්න බොහොමයක් මිනිස්සු ආත්මය සින්න කරලා රුපියල් සත ඉදිරිපිට බොහෙම පොඩි ලංසුවකට.  පරම උත්තරීතර හෘද සාක්ෂිය කතා කරවන්න හැකි නම් ඒ ඒ මිනිසුන්ගේ පුද්ගලානු බද්ධ අධම සිතිවිලි ගණන් කරතැකි. බලය, රුපියල හැර ඔවුන්ගේ ජීවිත වල වෙන අහවල් මගුලක් වත් නැති වඟ ලෝකයම එදාට දැන ගනීවි. අධ්‍යාත්මය පසු පෙලේ අඳුරු ආසනයක ඈනුන් අරිතත්, ශරීර භාහිර සුවය , සැපය ට මුල් අසුන් හිමිව ඇති යුගයක් මේක.

නිර්ධනය කර පින්නගෙන දෙකට නැමිලා බැරි බැරි ගාතේ හිටගෙන ඉන්න මිනිසෙකුට ධනේෂ්වරයට රිංගන්න මී ගුලක විවරයක් තරමක වත් සිදුරක් නෑ. යමෙකු ද්වාරයක් සොයාගෙන ධනේෂ්වරයට පා තැබුව දිනයේ පටන් ඔහු ව පහළට විසි කරන්නට නන් නොදන්නා බහුතරයක් පෙළගැසී සිට ගනී. මිනිසුන් ධනේෂ්වරය අගයති. නිර්ධනයට ගරහති. සමාජ පෙරළියේ කොහේ හෝ තැනක අපට වැරදී ඇති වඟ නම් ප්‍රත්‍යක්ෂයක්.



මිනිස්සා ස්වයංව හුස්ම ගන්නවා. දවසක පෙනහැල්ල අකර්මන්‍ය වේ ගෙන එනවා. එදා ට  මිනිසාට දැනෙනවා “මම මෙතුවක් හුස්ම ගත්තා.. ඒත් දැන් හුස්ම ගන්න බැරි වේගෙන එනවා” යැයි. නාසු පුඩු අස්සෙන් ආත්මය චුත වෙන්න කිට්ටුව මිනිස්සු අධ්‍යාත්මීය සැපය හොයන්න වලිකනවා. ඒත් මුණ ගැහෙන්නේ නෑ. අපි අධ්‍යාත්මය ජීවත් කෙරෙව්වේ නෑ. ජීවිත කාලය ම අර්ත විරහිත ආත්මාර්ථයන් ගොඩ නගමින් එකිනෙකාට උගුල් අටවමින් ජීවිතය වටා රුපියල් ගස් පැළ කරන්නට හැරූ වල වල් පෝළිමත් එදාට හිස්. එන දා රැගෙන එන දේකුත්, යන දා රැගෙන යන දේකුත් නැතැයි අප හොඳාකාරවම දනිතත්, අපි විසින් ඒ කියමන සදාතනිකවම අමතක කර ඇත්තෙමු.