Wednesday, March 11, 2015

මම සහ පළමු පෙම.


මං  ආදරෙයි
හ්ම්ම්..
මං ඔයාට ආදරෙයි.
හ්ම්ම්ම් ම්..
ඇහුන ද ..මං ඔයාට ආදරෙයි අප්පච්චී..
හරි දරුවො ..දැන් ඔයාට මොනව ද මට කියලා අර ගන්න ඕනේ..


තාත්තාගෙයි දියණියකගෙයි බැඳීම පුදුමයි..ඒ තමයි පුංචි කෙල්ලෙක්ගේ පළමු පෙම. හැර ගිය - හැර යන ආදරෙන්, හැර නොගිය පළමු පෙම. තවමත් මම අදහන එකම පිරිමි හිත ඔහුම වීම පුදුමයක්..


මහ ගෙදර ඉස්තෝප්පුවේ තියන හාන්සි පුටුව උඩ අප්පච්චිගේ ඔඩොක්කුවෙ ‍කොච්චර නං වාරයක් මම නැලවෙන්න ඇද්ද.. ඒ හැම වාරෙකම ඔහුගේ ඇඳුම මම කොච්චර නං තෙමන්න ඇද්ද..කාලය පුදුම තරම් වෙනස් කම් කර ඇති අපූරුව.. ඔහු  ඒ පුටුවේ තැන්පත් වෙලා දවසක මගේ දරුවන් වත්  නලවා වී.. හරියට මගේ සීයා ඉස්සර දවසක අප්පච්චීව නැලෙව්වා.. පස්සෙන් පහු මිණිබිරියක් විච්චි මාවත් හුරතල් කලා වගේ..


ඉස්සර හවසට ඔහු ගෙදර එන තුරු මම මඟ බලන් වුන්නා.. පුදුමයි.. අද මම එන තුරු ඔහු මඟ  බලන් ඉන්නවා..කාලයට නොකල හැක්කක් නෑ කියලා අද මම දහස් වාරයක් විශ්වාස කරනවා. ජීවිතේ අරුම පුදුම තැනක්. හුරු පුරුදු දේවල් නැවත නැවත සිදු වෙනවා, පුංචි පුංචි වෙනස්කම් ඇතුව. හරියට එකම ගීතයක් වෙනස් තාල දෙකකට කියනවා වගේ.

පිතෘත්වය නැමැති රන් දමින් බැඳුනු මිත්‍ර සමාගමක් ඔහුත් මාත් අතර පැවතියා , හුදෙක් අප්‍රමාණ පියවරුන්ට සාපේක්ෂව.අහස් මාලිගා, මිරිඟු සිහින, හමුනොවෙන බලාපොරොත්තු වලින් ඔබ්බෙහි තියෙන රළු යතාර්ථය උඩට ඇඳලා දාන්න ඒ මිත්‍රත්වය හැකි වුණා නිතරම.

අතීතය දිග කතාවක් මුල මැද අඟ නොපෑහෙන. අවශේෂ චරිත අප්‍රමාණව වුන්නු ඒ කතාවේ ඔහුටත් දුෂ්ඨයගේ චරිතේ රඟ දක්වන්න තිවුණා එහි නොඅඩුව.අරමුණක් විරහිත ඒ කතාවේ අවසානය නොලියම අද මම මඟ ඇරියා.. නොගැලපෙන තැනකදි පුංචි නැවතීමේ තිතක් තියලා.

No comments: