හිටි හැටියේ අසනීප වුණු අප්පච්චී, ඇවිදින්න බැරි අම්මායි එක්ක මගේ ජීවිතේ තව තවත් ලං වෙන්නේ දුප්පත් කමට. ජීවිත ප්‍රස්ථාරේ ඍණ සංඛ්‍යාවලට යන්න පටන් ගත්ත දා පටන් නොදන්න මිනිස්සු පවා මට උපදෙස් දුන්නා, ජීවත් වෙන හැටි කියා දෙන්න. මේ ඵල රහිත කන්දොස්කිරියාව මම අහන් වුන්නේ ඒ දවස් වල බොහොම අසීරුවෙන්. පස්සෙන් පහු කාලෙකදී බහුතරය සුළුතරයට පෙරලුනාම කන්දොස්කිරියාව ඉබේටම නැවතුනා.
“මට ජීවිතේ බිංදුවේ ඉඳලා පටන් ගන්න වෙලා.”
“ඒක හොඳයි.
“ඒ ඇයි?”
“ජීවිතේ මුල ඉඳන් පටන් ගන්න මිනිස්සුන්ට සාර්ථක වෙන්න ලේසී. ඒ වගේම ඒ මිනිස්සුන්ට මුල අමතක වෙන්නෑ කවදා වත්.”
“කියන්නං ලේසි යි .. ඕවා ඕන කෙනෙක්ට”
“හැබැයි ඒක කියන තරන් ලේසි නැ තමයි කරන්න ගියාම. අවබෝධයෙන් වැඩ කරන්න ඕන. මට පුළුවන් විදියට ඔයා ට හෙල්ප් කරන්නම් නංගා.”
ජීවිතේ කොනකට වෙන්න මගේ ලඟ නතර වුනේ, ඔන්න ඔහොම කිව්ව සහෘදයා විතරයි. එත්, පෙනෙන නොපෙනන තරමට ඈතින්.
“පණ උනත් දෙන්න හැකි” යි. කිව්ව ආදරේත් අනෝරා වැස්සකට අහුවෙලා දිය වෙලා ගියා. වැලලිච්ච රෝමාන්තික කවියේ අන්තිම පද පේළියත් මට මෙන් ම ඔහුටත් අමතකව ඇති. සාධාරණ අසාධාරණ ගැටුම් කෙලවර අපේ වෙන් වීමේ අවසන් තීන්දුව ලිය වුනේ මොන ම හේතුවට ද කියලා දවසක ඔහු මුණගැහුනොත් අනිවාර්යෙන්ම අහන්න ඕනේ. මගේ හිත කොනක වත් නැති මේ ප්‍රශ්න උත්තර බාගදා ඔහු සමීපයේ ඇති. පණ නේන ඒ අතීත කතාව ආයේ ලඟ නැතුවට ඉඳ හිටලා ඇස් තෙත් කරන් කඳුළු වැටෙනවා තවම.
මේ සියල් බැඳීම් මකුළු දැලක තරමට වත් ශක්තිමත් නෑ. “ඇති හැකි දවස්වල ඉන්න අප්‍රමාණ නෑදෑ මිත්‍රයෝ නැති බැරි දාට වෙන්ව යනවා” කියන කියමන සඵත කරමින් ඔවුන් නික්මිලා පැදුරටත් හොරෙන්. ව්‍යාජ බැඳීම් ගැලවිලා. මගේ සිතුවිලි නග්නව යථාර්ථය දිගේ වැටි වැටි ඇවිදින්න පටන් ගෙන. “දවසක ලෝකෙම මිනිස්සු කියවන පොතක් ලියන්න ඕන” කියන අමුතුම පිස්සුවකුත් එක්ක.
වේදනා දෙන අම්මාගේ කඳුළුයි, හැඬුම්බර අප්පච්චිගේ හිතයි, දුර්වර්ණ විච්චි ගෙදර බිත්ති හතර මැද ගුලි වෙලා තියෙන ඔවුන්ගේ හීනයි මගේ ඉහ මත්තේ ගොඩ ගැහිලා. අප්‍රමාණික වේදනා, සිනා පිරුවටේකින් වසාගෙන මම මගේ හිත සිර ගත කළ අපූරුව මට ම පුදුමයි. කෙසේ කෙදිනක අවසන් වේද යත් නොදන්න මගේ දෛවයේ මේ සිදුවීම් සමුදායම එක පෙලට ලියවෙලා තියෙන්න ඇති. මම මෙතුවක් නොදැන වුන්නට.
මිනිස්සු පතන සියුම් මෘදු මොලොක් ජීවිතෙන් එහාට කළු සුදු පරිසරයෙක අපේක්ෂා භංගත්වයෙන් අඩු නොවුනු කාල සීමාවන් අනපේක්ෂිතව පැමිණෙනවා යි මොකදෝ පොතක මම කියවලා තිබුණා . මේ ගෙවෙන ගිම්හානේ අවසන්ව වසන්තය පැමිණේවි. නමුත්, අවිනිශ්චිත කාල පරාසරයක් ඒ පිළිබඳ මගේ සන්තානේ ඇත්තේ. ඒ වසන්තය පැමිනෙන දා, මා මගේ ජීවිතයේ කොතැනක හිදීවි ද යද්ද පිළිබඳ වත් ලොකුවට ප්‍රශ්නාර්ථයක් ඉතිරියි මගේ ලඟ.
ප්‍රීතිය සිරගත කොට වේදනාව මුදුන් පමුණුවාගෙන ලෝකේ කැරකෙන්නේ මගේ ජීවිත චක්කරේ කැරකෙන පැත්තට ප්‍රතිවිරුද්ධව. අනුන්ගේ හීන මගේ වචනවලින් පණ එන කාලේ අසීමාන්තික ලෝකයක තනිව මම, පිහිටක් නැති, හෙවනක් නැති කටෝර බිමක හිස් අවකාශය පුරාම අනන්ත හීන දකින කෙල්ලෙක්.